Wednesday, December 14, 2011

ඇයි හැමෝම හරකුන්ට විතරක් අභය දානය දෙන්න හදන්නෙ?

                අද කාලෙ ඉන්න ගොඩක් මිනිසුන් හරකෙක් මරණයෙන් නිදහස් කරන්න ලොකු උනන්දුවක් දක්වනව. ඒත් ඔයාල කව්රුත් අහල තියනවද මරන්න හදන කුකුලෙක්ව එහෙම නිදහස් කලා කියල?. නැහැ නේද? මම අහලත් නැහැ. සමහර සල්ලිකාරයො තමන්ගෙ උපන්දිනේට හරකෙක් නිදහස් කරනව. ඒක සමහර අය කරන්නෙ වටපිට අයට පේන්න.හරක ඉතින් ලොකුවට පේන්න ඉන්නවනෙ. කොහොම උනත් සතෙකුට අභයදානය දෙන එක හොඳයි. ඒත් ඒ සතා හැම වෙලේම හරකෙක් වෙන්න ඕනද? උදේ හරක නිදහස් කරපු මිනිහ හවස ගෙදර යනගමන් චිකන් ෆ්‍රයිඩ් රයිස් අරන් යනවනම් එහෙමත් නැත්තම් හම ගහපු කකුලෙක් අරන් යනවනම් අර හරකව මරණයෙන් මුදාගත්ත පින්වත් උපාසක මහත්තයට මොකද වුනේ?
            හරකුන්ව මරණයෙන් මුදාගන්න කියල කෑ ගහන මිනිස්සු ගොඩ දෙනෙක් කියන තර්කයක් තමයි අපිට හරක කිරි දෙනව, ගොම දෙනව, කුඹුරු හානව කියල. ඔය කියන කාරනා සලකල බැලුවොත් එළ හරකෙක් මරණ එකේ කිසි වැරැද්දක් නැහැ. මොකද ඉතින් ඌ දෙන්නෙ ගොම විතරනෙ ( කුඹුරු හාන්න ගන්නෙ මී හරක්... උන්ගෙ මස් කන්නෙ නෑනෙ). කුකුලත් බෙටි දෙන්නෙ පෝර වලට ගන්න.එහෙම බැලුවොත් එළ හරකගෙයි (වැස්සි තමයි කිරි දෙන්නෙ) කුකුලගෙයි ඒ හැටි වෙනසක් නැහැ. ඒ වුනාට අපේ මිනිස්සුන්ට මරන්න දුක හිතෙන්නෙ හරක් විතරයි. කුකුලව පේන්නෙ නැහැ. මොකද ඌ පොඩි සතෙක් නෙ... අද සමාජයේ ඔය කාරණාව පිළිබඳ නොයෙක් දුර්මත තියනව. සමහර මිනිස්සු හරක් මස් කන්නෙ නැහැ හරක් මරන එකට කැමති නැති නිසා.ඒත් කුකුල් මස් කනව. එතකොට කුකුල් මස් කන්නෙ කුකුලන්ව මරණ එකට කැමති නිසාද? මිනිස්සු ඒක ගැන හිතන්නෙ නැහැ. ඔහේ කවුරුහරි කියන පලියට වැඩ කරනව මිසක් තමන් කරන්නෙ මොනවද කල යුත්තෙ මොනවද
කියල හිතන මිනිස්සු බොහොම අඩුයි.   
     මම කියන්න හදන්නෙ මේකයි...සත්ව අවිහිංසාව කියන්නෙ එක සත්තු ජාතියකට විතරක් කරුණාව මෛත්‍රිය කරන එක, අභයදානය දෙන එක නෙමෙයි.මුහුදෙ ඉන්න නිල් තල්මසා ගෙ ඉඳන් ගෙදර ඉන්න මීය, කැරපොත්ත, වේය, තෙල් කූඹිය දක්වා හැම සතෙක් කෙරෙහිම  කරුණාව මෛත්‍රිය කරන්න ඕන. එහෙම කරන කවුරුවත් මේ ලෝකෙ දැන් ඉන්නවයි කියල මම නම් හිතන්නෙ නැහැ. මම පොඩි උදාහරණයක් දෙන්නම්. හිතන්න ඔයා සත්ව අවිහිංසාවාදියෙක් නිසා මස් මාළු කන්නෙ නෑ කියල. මදුරුවො මරන්නෙත් නෑ කියමු. දවසක් ඔයා හොඳටම මහන්සි වෙලා ගෙදර ඇවිත් ඇඳට වැටිල නිදාගන්න යනකොට ඉස්ම බේරෙන ගඳ ගහන නටු බල්ලෙක් ඔයාගෙ ඇඳට වෙලා සැපට නිදන් ඉන්නවනම් ඔයා මොකද කරන්නෙ?.....කමක් නැහැ ඔහේ ඉඳපුදෙන් කියල එලියට ගිහින් සාලෙන් පැදුරක් දාගෙන නිදාගන්නවද? නැත්නම් හොඳවැයින් පොල්ලක් අරන් ගහල පන්නනවද?... හිතල බලන්නකො.  
           අපි මොනදේ කරත් ඒ දේ ගැන තේරුමක් ඇතුව කරන්න ඕන. තමන් ගෙ ඇත්ත තත්වය තේරුම් ගත්තෙ නැත්නම් අපි මුලා වෙනව. අනිත් මිනිස්සු අපි ගැන හිතන දේට වඩා තමන් තමන් ගැන හිතන දේ තමයි වැදගත්. තමන්ටම බොරු කරගන්න එක ලොකු වැරුද්දක්. ඔයා මස් මළු නොකා ඉන්නවනම් නොකා ඉන්න, කනවනම් කන්න. හැබැයි තමන් කරන දේ ගැන අවබෝධයෙන් ඒ දේ කරන්න. බොරු නිදහසට කාරනා හදාගන්න අවශ්‍ය නැහැ. මස් මාළු නොකෑ පළියට අවිහිංසාවාදියෙක් වෙන්නෙ නම් නැහැ. හැබැයි ඔවුන්ට කියන්න පුලුවන් “මම ශාක භක්ෂකයෙක්“ කියල. කොහාම නමුත් මම හිතන විදියට නම් තමන් යමක් කරනවනම් ඒක හරියට කරන්න ඕන...නැත්නම් නිකන් ඉන්න ඕන...ඒ වුනත් පුලුවන් හැමවෙලේම සතුන්ට කරුණාව දක්වන්න ඕන...හැබැයි බැරි වෙන වෙලාවලුත් තියන බව මතක තියාගන්න ඕන.පුලුවන් හැම වෙලාවකම විවෘත මනසකින් හිතන්න උත්සහ කරන එක තමයි අපි කරන්න ඕන.

2 comments:

ආයි හෝදන්න දෙයක් නෑ, පංකාදු කතාව.
 
මැක්සා කථාව...

මමත් සත්තුන්ට කරදර කරන්නෑ මට කරදරයක් නොවෙනතාක් කල්... මම වෛර කරන සතා තමා මීයා (කකුල් 4 එකා හොඳේ)... ඌ මට සෑහෙන්න අලාභ කරලා තියෙනවා. ඌට ඇර අනෙක් වුන්ට නම් මෛත්‍රී කරන්න ඇහැකි...

ගොඩක් අය වෙජිටේරියන් ඇඩ් එකට පමණයි. ප්‍රයිඩ් රයිස් කනවා... චිකන් කන්නෑ... අනේ මන්දා !
 

Post a Comment