Saturday, December 31, 2011

නව වසර ඔයාට සුභ ද අසුභ ද?

            මට නම් නව වසර සුභයි...මොකද දන්නවද?... ලග්න පලාපල වලින් මොනව කිව්වත් අපි කරන කියන දේවල් වල සාර්ථකත්වය තීරණය වෙන්නෙ අපි ඒ දේ කරන විදිහ අනුව... ඔයා යම් වැඩක් කරනකොට මේ වැඩේ හරියනවමයි කියල හිතාගෙන කලොත් ඒ වැඩේ හරියන්න පුලුවන් සම්භාවිතාව ගොඩක් වැඩි වෙනව... හැබැයි ඉතින්, මේකනම් හරියන වැඩක් නෙමෙයි කියල හිත හිත හිටියොත් හරියන්නෙම නැහැ තමයි... ඒක නිසා 2012 අවුරුද්දෙ දින 366 ම හොඳට ප්‍රයෝජන ගන්නත් කරන කියන හැම වැඩක්ම සාර්තකව කරගන්නත් ඔයාට මානසික ශක්තිය සහ ධෛර්ය ලැබේවා කියල මම හදවතින්ම ප්‍රාර්තනා කරනව....2012 වර්ශය ඔයාට අනිවාර්යෙන්ම සුභයි....ආයෙ ඒකෙ දෙකක් නෑ...

Thursday, December 15, 2011

ඔයාට කවද හරි ජීවිතේ එපා වෙලා තියනවද?

                       ඔයාට කවද හරි ජීවිතේ එපා වෙලා තියනවද? එහෙම එපා වුනු වෙලාවක ජීවිතේ නැති කරගන්න හිතිල තියනවද? නැත්නම් ඔයා ගොඩක් වාසනාවන්තයි. හැබැයි ඉතින් කවදහරි දවසක ඔයාටත් ජීවිතේ නැති කරගන්න හිතෙන්න ඉඩ තියනව. ඒක නිසා මේ ලිපිය කියවල බලන්න පොඩි වෙලාවක් වැය කලා කියල පාඩුවක් වෙන එකක් නම් නෑ.    
                       අපිට මොකක් හරි ලොකු ප්‍රශ්ණයක් වෙලා ඒකට මූණ දීගන්න බැරි තරමටම හිත දුර්වල වෙලා අන්ත අසරණ වුනාම තමයි ඔය සියදිවි නසාගන්න අදහස හිතට එන්නෙ. ඒ වෙලාවට අපිට පේන  එකම ගැලවීමේ මාර්ගය තමයි මැරෙන එක. ඒත් ඉතින් ප්‍රශ්ණයට මුහුණ නොදීපු පිටතින් ඉඳන් බලන අයටනම් පේන්නෙ මැරෙන්න හදපු (හෝ මැරුණු) කෙනා මහ මෝඩයෙක් කියල. ඒ වුනත් සමහර වෙලාවට උගත් අය පවා සිය දිවි නසාගත් අවස්ථා අපිට දකින්න ලැබෙනවා. සියදිවි නසාගැනීමේ මානසිකත්වයකට කෙනෙක් පත් වුනාම හිතට එන අදහස් දැනගන්න නම් ඒවගේ තත්වයකට මුහුණ දෙන්නම ඕන... කරුමෙකට හරි ඔයා මේ වගේ තත්වයකට මුහුණ පෑව කියමුකො... ඔයා හොඳ ප්ලෑනකුත් ගැහුව කියමුකො... ඒක හරියට ක්‍රියාත්මක වුනොත් ඔයා මැරිල යයි. වැරදුනොත් නම්බුව නැති වෙලා යයි... නිරවුල් මනසකින් හිතල බැලුවොත් නම් පේනව මේ ප්ලෑන හරිගියත් වැරදුනත් අත් වෙන්නෙ නරක ප්‍රථිපලයක් බව. ඒත් මනස අවුල් වුන වෙලාවට ඕව පේන්නෙ නැහැ... ඉතින් දෙයියනේ අපි මොනවද කරන්නෙ?        
                        ඔන්න ඔය වගේ වෙලාවට තමයි පෙර කල කුසල කර්ම පිහිටට එන්නෙ ( මම මේ කියන්නෙ බුදු දහමේ කියන කුසල කර්ම ම නෙමෙයි). ඒ කියන්නෙ ඔයාගෙ යටි හිතට කලින් දීල තියන ට්‍රේනින් එක (පුහුනුව)... දැන් ඔයා බලනව ඇති මොකද්ද මේ කියන හරුපෙ කියල. හරි... පොඩ්ඩක් කල්පනා කරල බලන්න... කවද හරි දවසක මොකක් හරි වැරැද්දක් කරන්න යනකොටම ඔයාගෙ හිත ඉස්සරහට පැනල “ඔහොම නැවතියන්“ කියල කිව්ව නේද? ඔයාට කවදාවත්ම එහෙම වෙලා නැත්නම් බොහොම භයානකයි. සාමාන්‍ය මිනිස්සුන්ට නම් එහෙම වෙනව. මම දකින විදිහටනම් ඕකට හේතු වෙන්නෙ අපි යටි හිතට දීල තියන අදහස්. අපේ උඩු හිතට තදින්ම කා වැදෙන දේවල් ටිකෙන් ටික යටි හිතට සම්ප්‍රේශණය වෙනව. මේ යටි හිත කියන එක උඩු හිත වගේ නෙමෙයි. ලේසියෙන් පිස්සු නටන්නෙ නැහැ. අපිට ඕන ඕන විදිහට ඒකට මොකුත් කරන්නත් බැහැ. අපේ ඇදහිලි හා විශ්වාසයන්/ ප්‍රතිපත්ති/ නීති රීති/ කොන්දේසි වගේම හුරු පුරුදු සහ තව ගොඩක් දේවල් මේකෙ තැන්පත් වෙනව. ඔය අතරෙම උඩුහිත පිස්සු නටන්න ගත්ත වෙලාවට ඒක පාලනය කරන්න අවශ්‍යය තොරතුරුත් මේ යටි හිතේ තැම්පත් වෙලා තියනව. අපි මොකක් හරි වරදක් කරන්න හදන වෙලාවට අනතුරු අඟවන්නෙ ඒකයි. ඉතින් අපිට සියදිවි නසාගන්න උඩුහිත කියන කොට ඒක වලක්වගන්න ඕන කරන ප්‍රථිජීවක අපේ යටි හිතේ තිබුනොත් තත්වය මැඩපවත්වගන්න පුල්වන්. නැත්නම් ඉතින් අමාරුවෙ වැටෙනව... මොකද?..... මේක කියවල දැන් නිකන් පිස්සුයි වගේ ද?....ගනන් ගන්න එපා. හිත කියන එක හරියට තේරුම් ගන්න අපි වගේ සාමාන්‍යය මිනිස්සුන්ට බෑ. අපිට පුලුවන් දල අදහසක් ගන්න විතරයි... ඒකත් සමහර වෙලාවට අර අන්දයො රැලක් අලියව විස්තර කලා වගේ වෙන්නත් පුලුවන්. එක්කෙනෙක් එකක් කියනව අනික තවත් එකක් කියනව. කොහොම වුනත් මම කියන්න හදන්නෙ මේකයි. හිත කියන එක පාලනය කරන්න හරිම අමාරුයි තමයි. ඒක පොඩ්ඩක් පුරුදු කරගන්න ඕන. අන්න ඒ වැඩේට තමයි මම කිව්වෙ කුසල කර්ම කියල.        
                    කොහොම හරි මම කියන්න හදන්නෙ මේකයි. ඔයත් අද අද ම ප්‍රථිජීවක හොයල හිතට දාගන්න....මෙන්න මේ විදියට හිතන්න පුරුදු වුනොත් වැඩේ හරියයි කියල මට හිතෙනව...ට්‍රයි කරල බලන්නකො...අපි නිකමට  හිතමු ඔයා මුලු ලෝකෙ වටේටම නයයි කියල. ඒක ගෙවාගන්න බැරුව ඔයා වහ බිව්වොත් ගෙදර ඉන්න අනිත් අහිංසකයො ටික තමයි අහුවෙන්නෙ. සල්ලි ටිකක් හොයාගන්න උත්සහ කලානම් සමහරවිට නය ටික ගෙවාගන්නත් තිබුන.... හ්ම්ම්ම්.... එහෙමත් නැත්නම් මෙක බලන්නකො... හිතන්න කොල්ලෙකුයි කෙල්ලෙකුයි අතර තියන සම්බන්දයට ගෙවල් වලි තදින්ම විරුද්ද වුනා කියල... අනේ ඉතින් මේ දෙන්න තීරණය කරනව, “අපිට මේ ලෝකෙදි නම් කොහෙත් ම එක් වෙන්න ලැබෙන්නෙ නැහැ. අපි ලබන ආත්මෙදි වත් එක් වෙමු“කියල... අනේ ඉතින් දෙන්නම මැරෙනව... මලායින් පස්සෙ කොහෙ ඉපදෙයිද කව්ද දන්නෙ? මොනව වෙයිද කියල කාටද හරියට කියන්න පුලුවන්? ජීවත් වෙලා හිටියනම් දෙයියනේ පැනල ගිහින් හරි එකට ඉන්නවනෙ.......හම්ම්ම්...... දැන් තේරුනාද?... ඔයාට කරන්න තියෙන්නෙ සියදිවි නසාගත්ත මිනිස්සු ඒක කරගත්ත හේතුව හොයල එයාට තිබුනු අනෙක් options ගැන හිතන්න... ඔයා ප්‍රශ්නයට මුහුනදුන්න කෙනා නොවන නිසා නිරවුල් මනසින් කල්පනා කරනකොට ඔයාට හොඳ උත්තර ටිකක් ලැබෙයි...ඉතින් කව්රුහරි සියදිවි නසාගත් හෝ නසාගන්නට තැත් කල ආරංචියක් ආපු ගමන් ඔය වැඩේ කරන්න... එතකොට ඔයා ඇත්තටම ඒවගේ ප්‍රශ්නෙකට මුහුණ දුන්නම සමහර විට මැරෙන එකට වඩා හොඳ විසඳුමක් මතක් වෙයි.                
              මේ ක්‍රමය හරියයි ද කියන එකනම් මම දන්නෙ නැහැ... මේක අත්නොදුටු සහ අප්‍රත්‍යක්ෂ බේතක්... කොටින්ම කියනව නම් මගේ හිතට ආපු අදහසක්... සමහර විට මේක හරියන්න පුලුවන්( කාල ගුණ වාර්තාව වගේ තමයි.“හෙට දිනය තුලදී දිවයින පුරා තැනින්තැන ගිගුරුම් සහිත වැසි ඇතිවීමට පුළුවන “ වහින් නැති වෙන්නත් පුලුවන් .... හිහ් හිහ්)..... විහිළු නෙමෙයි...පොඩ්ඩක් හිතල බලන්නකො... ඔයාලට හිතෙන අවංක අදහස comment එකක් විදියට දාන්න....සංවාදයට විවෘතයි...