Saturday, December 31, 2011

නව වසර ඔයාට සුභ ද අසුභ ද?

            මට නම් නව වසර සුභයි...මොකද දන්නවද?... ලග්න පලාපල වලින් මොනව කිව්වත් අපි කරන කියන දේවල් වල සාර්ථකත්වය තීරණය වෙන්නෙ අපි ඒ දේ කරන විදිහ අනුව... ඔයා යම් වැඩක් කරනකොට මේ වැඩේ හරියනවමයි කියල හිතාගෙන කලොත් ඒ වැඩේ හරියන්න පුලුවන් සම්භාවිතාව ගොඩක් වැඩි වෙනව... හැබැයි ඉතින්, මේකනම් හරියන වැඩක් නෙමෙයි කියල හිත හිත හිටියොත් හරියන්නෙම නැහැ තමයි... ඒක නිසා 2012 අවුරුද්දෙ දින 366 ම හොඳට ප්‍රයෝජන ගන්නත් කරන කියන හැම වැඩක්ම සාර්තකව කරගන්නත් ඔයාට මානසික ශක්තිය සහ ධෛර්ය ලැබේවා කියල මම හදවතින්ම ප්‍රාර්තනා කරනව....2012 වර්ශය ඔයාට අනිවාර්යෙන්ම සුභයි....ආයෙ ඒකෙ දෙකක් නෑ...

Thursday, December 15, 2011

ඔයාට කවද හරි ජීවිතේ එපා වෙලා තියනවද?

                       ඔයාට කවද හරි ජීවිතේ එපා වෙලා තියනවද? එහෙම එපා වුනු වෙලාවක ජීවිතේ නැති කරගන්න හිතිල තියනවද? නැත්නම් ඔයා ගොඩක් වාසනාවන්තයි. හැබැයි ඉතින් කවදහරි දවසක ඔයාටත් ජීවිතේ නැති කරගන්න හිතෙන්න ඉඩ තියනව. ඒක නිසා මේ ලිපිය කියවල බලන්න පොඩි වෙලාවක් වැය කලා කියල පාඩුවක් වෙන එකක් නම් නෑ.    
                       අපිට මොකක් හරි ලොකු ප්‍රශ්ණයක් වෙලා ඒකට මූණ දීගන්න බැරි තරමටම හිත දුර්වල වෙලා අන්ත අසරණ වුනාම තමයි ඔය සියදිවි නසාගන්න අදහස හිතට එන්නෙ. ඒ වෙලාවට අපිට පේන  එකම ගැලවීමේ මාර්ගය තමයි මැරෙන එක. ඒත් ඉතින් ප්‍රශ්ණයට මුහුණ නොදීපු පිටතින් ඉඳන් බලන අයටනම් පේන්නෙ මැරෙන්න හදපු (හෝ මැරුණු) කෙනා මහ මෝඩයෙක් කියල. ඒ වුනත් සමහර වෙලාවට උගත් අය පවා සිය දිවි නසාගත් අවස්ථා අපිට දකින්න ලැබෙනවා. සියදිවි නසාගැනීමේ මානසිකත්වයකට කෙනෙක් පත් වුනාම හිතට එන අදහස් දැනගන්න නම් ඒවගේ තත්වයකට මුහුණ දෙන්නම ඕන... කරුමෙකට හරි ඔයා මේ වගේ තත්වයකට මුහුණ පෑව කියමුකො... ඔයා හොඳ ප්ලෑනකුත් ගැහුව කියමුකො... ඒක හරියට ක්‍රියාත්මක වුනොත් ඔයා මැරිල යයි. වැරදුනොත් නම්බුව නැති වෙලා යයි... නිරවුල් මනසකින් හිතල බැලුවොත් නම් පේනව මේ ප්ලෑන හරිගියත් වැරදුනත් අත් වෙන්නෙ නරක ප්‍රථිපලයක් බව. ඒත් මනස අවුල් වුන වෙලාවට ඕව පේන්නෙ නැහැ... ඉතින් දෙයියනේ අපි මොනවද කරන්නෙ?        
                        ඔන්න ඔය වගේ වෙලාවට තමයි පෙර කල කුසල කර්ම පිහිටට එන්නෙ ( මම මේ කියන්නෙ බුදු දහමේ කියන කුසල කර්ම ම නෙමෙයි). ඒ කියන්නෙ ඔයාගෙ යටි හිතට කලින් දීල තියන ට්‍රේනින් එක (පුහුනුව)... දැන් ඔයා බලනව ඇති මොකද්ද මේ කියන හරුපෙ කියල. හරි... පොඩ්ඩක් කල්පනා කරල බලන්න... කවද හරි දවසක මොකක් හරි වැරැද්දක් කරන්න යනකොටම ඔයාගෙ හිත ඉස්සරහට පැනල “ඔහොම නැවතියන්“ කියල කිව්ව නේද? ඔයාට කවදාවත්ම එහෙම වෙලා නැත්නම් බොහොම භයානකයි. සාමාන්‍ය මිනිස්සුන්ට නම් එහෙම වෙනව. මම දකින විදිහටනම් ඕකට හේතු වෙන්නෙ අපි යටි හිතට දීල තියන අදහස්. අපේ උඩු හිතට තදින්ම කා වැදෙන දේවල් ටිකෙන් ටික යටි හිතට සම්ප්‍රේශණය වෙනව. මේ යටි හිත කියන එක උඩු හිත වගේ නෙමෙයි. ලේසියෙන් පිස්සු නටන්නෙ නැහැ. අපිට ඕන ඕන විදිහට ඒකට මොකුත් කරන්නත් බැහැ. අපේ ඇදහිලි හා විශ්වාසයන්/ ප්‍රතිපත්ති/ නීති රීති/ කොන්දේසි වගේම හුරු පුරුදු සහ තව ගොඩක් දේවල් මේකෙ තැන්පත් වෙනව. ඔය අතරෙම උඩුහිත පිස්සු නටන්න ගත්ත වෙලාවට ඒක පාලනය කරන්න අවශ්‍යය තොරතුරුත් මේ යටි හිතේ තැම්පත් වෙලා තියනව. අපි මොකක් හරි වරදක් කරන්න හදන වෙලාවට අනතුරු අඟවන්නෙ ඒකයි. ඉතින් අපිට සියදිවි නසාගන්න උඩුහිත කියන කොට ඒක වලක්වගන්න ඕන කරන ප්‍රථිජීවක අපේ යටි හිතේ තිබුනොත් තත්වය මැඩපවත්වගන්න පුල්වන්. නැත්නම් ඉතින් අමාරුවෙ වැටෙනව... මොකද?..... මේක කියවල දැන් නිකන් පිස්සුයි වගේ ද?....ගනන් ගන්න එපා. හිත කියන එක හරියට තේරුම් ගන්න අපි වගේ සාමාන්‍යය මිනිස්සුන්ට බෑ. අපිට පුලුවන් දල අදහසක් ගන්න විතරයි... ඒකත් සමහර වෙලාවට අර අන්දයො රැලක් අලියව විස්තර කලා වගේ වෙන්නත් පුලුවන්. එක්කෙනෙක් එකක් කියනව අනික තවත් එකක් කියනව. කොහොම වුනත් මම කියන්න හදන්නෙ මේකයි. හිත කියන එක පාලනය කරන්න හරිම අමාරුයි තමයි. ඒක පොඩ්ඩක් පුරුදු කරගන්න ඕන. අන්න ඒ වැඩේට තමයි මම කිව්වෙ කුසල කර්ම කියල.        
                    කොහොම හරි මම කියන්න හදන්නෙ මේකයි. ඔයත් අද අද ම ප්‍රථිජීවක හොයල හිතට දාගන්න....මෙන්න මේ විදියට හිතන්න පුරුදු වුනොත් වැඩේ හරියයි කියල මට හිතෙනව...ට්‍රයි කරල බලන්නකො...අපි නිකමට  හිතමු ඔයා මුලු ලෝකෙ වටේටම නයයි කියල. ඒක ගෙවාගන්න බැරුව ඔයා වහ බිව්වොත් ගෙදර ඉන්න අනිත් අහිංසකයො ටික තමයි අහුවෙන්නෙ. සල්ලි ටිකක් හොයාගන්න උත්සහ කලානම් සමහරවිට නය ටික ගෙවාගන්නත් තිබුන.... හ්ම්ම්ම්.... එහෙමත් නැත්නම් මෙක බලන්නකො... හිතන්න කොල්ලෙකුයි කෙල්ලෙකුයි අතර තියන සම්බන්දයට ගෙවල් වලි තදින්ම විරුද්ද වුනා කියල... අනේ ඉතින් මේ දෙන්න තීරණය කරනව, “අපිට මේ ලෝකෙදි නම් කොහෙත් ම එක් වෙන්න ලැබෙන්නෙ නැහැ. අපි ලබන ආත්මෙදි වත් එක් වෙමු“කියල... අනේ ඉතින් දෙන්නම මැරෙනව... මලායින් පස්සෙ කොහෙ ඉපදෙයිද කව්ද දන්නෙ? මොනව වෙයිද කියල කාටද හරියට කියන්න පුලුවන්? ජීවත් වෙලා හිටියනම් දෙයියනේ පැනල ගිහින් හරි එකට ඉන්නවනෙ.......හම්ම්ම්...... දැන් තේරුනාද?... ඔයාට කරන්න තියෙන්නෙ සියදිවි නසාගත්ත මිනිස්සු ඒක කරගත්ත හේතුව හොයල එයාට තිබුනු අනෙක් options ගැන හිතන්න... ඔයා ප්‍රශ්නයට මුහුනදුන්න කෙනා නොවන නිසා නිරවුල් මනසින් කල්පනා කරනකොට ඔයාට හොඳ උත්තර ටිකක් ලැබෙයි...ඉතින් කව්රුහරි සියදිවි නසාගත් හෝ නසාගන්නට තැත් කල ආරංචියක් ආපු ගමන් ඔය වැඩේ කරන්න... එතකොට ඔයා ඇත්තටම ඒවගේ ප්‍රශ්නෙකට මුහුණ දුන්නම සමහර විට මැරෙන එකට වඩා හොඳ විසඳුමක් මතක් වෙයි.                
              මේ ක්‍රමය හරියයි ද කියන එකනම් මම දන්නෙ නැහැ... මේක අත්නොදුටු සහ අප්‍රත්‍යක්ෂ බේතක්... කොටින්ම කියනව නම් මගේ හිතට ආපු අදහසක්... සමහර විට මේක හරියන්න පුලුවන්( කාල ගුණ වාර්තාව වගේ තමයි.“හෙට දිනය තුලදී දිවයින පුරා තැනින්තැන ගිගුරුම් සහිත වැසි ඇතිවීමට පුළුවන “ වහින් නැති වෙන්නත් පුලුවන් .... හිහ් හිහ්)..... විහිළු නෙමෙයි...පොඩ්ඩක් හිතල බලන්නකො... ඔයාලට හිතෙන අවංක අදහස comment එකක් විදියට දාන්න....සංවාදයට විවෘතයි...

Wednesday, December 14, 2011

ඇයි හැමෝම හරකුන්ට විතරක් අභය දානය දෙන්න හදන්නෙ?

                අද කාලෙ ඉන්න ගොඩක් මිනිසුන් හරකෙක් මරණයෙන් නිදහස් කරන්න ලොකු උනන්දුවක් දක්වනව. ඒත් ඔයාල කව්රුත් අහල තියනවද මරන්න හදන කුකුලෙක්ව එහෙම නිදහස් කලා කියල?. නැහැ නේද? මම අහලත් නැහැ. සමහර සල්ලිකාරයො තමන්ගෙ උපන්දිනේට හරකෙක් නිදහස් කරනව. ඒක සමහර අය කරන්නෙ වටපිට අයට පේන්න.හරක ඉතින් ලොකුවට පේන්න ඉන්නවනෙ. කොහොම උනත් සතෙකුට අභයදානය දෙන එක හොඳයි. ඒත් ඒ සතා හැම වෙලේම හරකෙක් වෙන්න ඕනද? උදේ හරක නිදහස් කරපු මිනිහ හවස ගෙදර යනගමන් චිකන් ෆ්‍රයිඩ් රයිස් අරන් යනවනම් එහෙමත් නැත්තම් හම ගහපු කකුලෙක් අරන් යනවනම් අර හරකව මරණයෙන් මුදාගත්ත පින්වත් උපාසක මහත්තයට මොකද වුනේ?
            හරකුන්ව මරණයෙන් මුදාගන්න කියල කෑ ගහන මිනිස්සු ගොඩ දෙනෙක් කියන තර්කයක් තමයි අපිට හරක කිරි දෙනව, ගොම දෙනව, කුඹුරු හානව කියල. ඔය කියන කාරනා සලකල බැලුවොත් එළ හරකෙක් මරණ එකේ කිසි වැරැද්දක් නැහැ. මොකද ඉතින් ඌ දෙන්නෙ ගොම විතරනෙ ( කුඹුරු හාන්න ගන්නෙ මී හරක්... උන්ගෙ මස් කන්නෙ නෑනෙ). කුකුලත් බෙටි දෙන්නෙ පෝර වලට ගන්න.එහෙම බැලුවොත් එළ හරකගෙයි (වැස්සි තමයි කිරි දෙන්නෙ) කුකුලගෙයි ඒ හැටි වෙනසක් නැහැ. ඒ වුනාට අපේ මිනිස්සුන්ට මරන්න දුක හිතෙන්නෙ හරක් විතරයි. කුකුලව පේන්නෙ නැහැ. මොකද ඌ පොඩි සතෙක් නෙ... අද සමාජයේ ඔය කාරණාව පිළිබඳ නොයෙක් දුර්මත තියනව. සමහර මිනිස්සු හරක් මස් කන්නෙ නැහැ හරක් මරන එකට කැමති නැති නිසා.ඒත් කුකුල් මස් කනව. එතකොට කුකුල් මස් කන්නෙ කුකුලන්ව මරණ එකට කැමති නිසාද? මිනිස්සු ඒක ගැන හිතන්නෙ නැහැ. ඔහේ කවුරුහරි කියන පලියට වැඩ කරනව මිසක් තමන් කරන්නෙ මොනවද කල යුත්තෙ මොනවද
කියල හිතන මිනිස්සු බොහොම අඩුයි.   
     මම කියන්න හදන්නෙ මේකයි...සත්ව අවිහිංසාව කියන්නෙ එක සත්තු ජාතියකට විතරක් කරුණාව මෛත්‍රිය කරන එක, අභයදානය දෙන එක නෙමෙයි.මුහුදෙ ඉන්න නිල් තල්මසා ගෙ ඉඳන් ගෙදර ඉන්න මීය, කැරපොත්ත, වේය, තෙල් කූඹිය දක්වා හැම සතෙක් කෙරෙහිම  කරුණාව මෛත්‍රිය කරන්න ඕන. එහෙම කරන කවුරුවත් මේ ලෝකෙ දැන් ඉන්නවයි කියල මම නම් හිතන්නෙ නැහැ. මම පොඩි උදාහරණයක් දෙන්නම්. හිතන්න ඔයා සත්ව අවිහිංසාවාදියෙක් නිසා මස් මාළු කන්නෙ නෑ කියල. මදුරුවො මරන්නෙත් නෑ කියමු. දවසක් ඔයා හොඳටම මහන්සි වෙලා ගෙදර ඇවිත් ඇඳට වැටිල නිදාගන්න යනකොට ඉස්ම බේරෙන ගඳ ගහන නටු බල්ලෙක් ඔයාගෙ ඇඳට වෙලා සැපට නිදන් ඉන්නවනම් ඔයා මොකද කරන්නෙ?.....කමක් නැහැ ඔහේ ඉඳපුදෙන් කියල එලියට ගිහින් සාලෙන් පැදුරක් දාගෙන නිදාගන්නවද? නැත්නම් හොඳවැයින් පොල්ලක් අරන් ගහල පන්නනවද?... හිතල බලන්නකො.  
           අපි මොනදේ කරත් ඒ දේ ගැන තේරුමක් ඇතුව කරන්න ඕන. තමන් ගෙ ඇත්ත තත්වය තේරුම් ගත්තෙ නැත්නම් අපි මුලා වෙනව. අනිත් මිනිස්සු අපි ගැන හිතන දේට වඩා තමන් තමන් ගැන හිතන දේ තමයි වැදගත්. තමන්ටම බොරු කරගන්න එක ලොකු වැරුද්දක්. ඔයා මස් මළු නොකා ඉන්නවනම් නොකා ඉන්න, කනවනම් කන්න. හැබැයි තමන් කරන දේ ගැන අවබෝධයෙන් ඒ දේ කරන්න. බොරු නිදහසට කාරනා හදාගන්න අවශ්‍ය නැහැ. මස් මාළු නොකෑ පළියට අවිහිංසාවාදියෙක් වෙන්නෙ නම් නැහැ. හැබැයි ඔවුන්ට කියන්න පුලුවන් “මම ශාක භක්ෂකයෙක්“ කියල. කොහාම නමුත් මම හිතන විදියට නම් තමන් යමක් කරනවනම් ඒක හරියට කරන්න ඕන...නැත්නම් නිකන් ඉන්න ඕන...ඒ වුනත් පුලුවන් හැමවෙලේම සතුන්ට කරුණාව දක්වන්න ඕන...හැබැයි බැරි වෙන වෙලාවලුත් තියන බව මතක තියාගන්න ඕන.පුලුවන් හැම වෙලාවකම විවෘත මනසකින් හිතන්න උත්සහ කරන එක තමයි අපි කරන්න ඕන.

Tuesday, December 13, 2011

සෙල්වම් කලාත්මක චිත්‍රපටියක්ද?

         

              මගේ අදහස නම් සෙල්වම් කියන්නෙ කලාත්මක චිත්‍රපටයක් නෙමෙයි.චිත්‍රපටයක් කරන්න ඕනවට කරල වගෙයි මට පෙනුනෙ. දැන් ඔයාල හිතනව ඇති මූ කොහොමද එහෙම කියන්නෙ,මූ මොනවද චිත්‍රපටි ගැන දන්නෙ, මුට මොකද්ද තියන අයිතිය එහෙම කියන්න කියල. හරි...මම විස්තර කරල කියන්නම් මගෙ අදහස් ටික. හැබැයි මුලින්ම කියන්න ඕන මම චිත්‍රපටි විචාරකයෙක් නම් නෙමෙයි. චිත්‍රපටි කලාවට ආදරය කරන තවත් එක රසිකයෙක්. මම මේ වෙනකොට සිංහල, දෙමල, ඉංග්‍රීසි, හිංදි,උරුදු, කොරියන්,ජපන් ආදී වශයෙන් චිත්‍රපටි 1000 ක් විතර නරඹල තියනව. තව ඉතින් එහෙන් මෙහෙන් සිනමාව ගැන කියවලත් තියනව. අනික නිර්මාණයක් ගැන තමන්ගෙ අදහස් කියන්න අයිතිය තියෙන්නෙ රසිකයන්ට නෙවෙයි නම් වෙන කාටද?       

            මුලින්ම මම කියන්නම් මේ චිත්‍රපටියෙ මම දැකපු හොඳ. ප්‍රධානම එක තමයි අපේ හමුදාවෙන් අල්ලගත්ත කොටින්ව මරා නොදමා ඔවුන් ව පුනරුත්තාපනය කිරීම ගැන දක්වලා අපේ හමුදාවේ උදාරත්වය ඉස්මතු කරන්න උත්සහ දැරීම. තව ඉතින් කියන්න පුලුවන් තෝරගෙන තියන තේමාව හොඳයි. ඒත් රටේ හැමෝගෙම හදවතට දැනෙන්න පුලුවන් විදිහට මේක නිර්මාණය කරන්න අධ්‍යක්ෂකවරයා ට බැරි වුනා. ඒකට ප්‍රධානම හේතුව තමයි ඔහු මේ සිනමා කෘතිය දේශපාලනීකරණය කිරීම. මොකද ඉතින් අපේ රටේ දේශපාලනේදි කට්ටිය දෙකට බෙදෙනව නෙ.

               කොහොම නමුත් මේ නිර්මාණයේ තිර පිටපත දුර්වලයි. මොකද දන්නවද මම එහෙම කිව්වෙ. මේ කතාවෙ ත්‍රාසය, භීතිය,කුතුහලය ඇත්තෙම නැති තරම්. හාස්‍යය නම් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ.මේකෙ ඇතුලෙ ආදර කතාවක් තිබුනට ඒක ඇත්තටම ආදර කතාවක සාරාංශයක් මිසක් කතාවක් නෙමෙයි.සිනමා නිර්මාණයක තිබියයුතු වැදගත්ම ගුනාංගයක් වන ප්‍රේක්ෂකයා ඇද බැඳ තබා ගැනීමේ හැකියාව මේ නිර්මාණයේ තියෙන්නෙ බොහොමත්ම අඩුවෙන්.ඒකට ප්‍රධාන හේතුවක් තමයි නිර්මාණය එක අරමුනක් වෙත විකාශනය නොවීම. ඒ කියන්නෙ කොටි සාමාජිකයගෙ කතාව, සෙල්වම්ගෙ මහින්ද රාජා කතාව(දේශපාලනය),ආදරය සහ කොටිත් සාමාන්‍ය දෙමල ජනතාවත් අතර අර්බුදය කියන ඔක්කොම අච්චාරුවක් වගේ එලියට එනව...මම කියන්න හදන්නෙ මේ පිටපත මීට වඩා ආකර්ශනීයව පිළිවෙලකට
ගලාගෙන යන කතාවක් විදියට තිබ්බනම් මොනතරම් ලස්සන වෙන්න තිබුනද කියන එකයි.
               මේක බොහොම හදිස්සියකින් නිර්මාණය කරපු එකක් වගෙයි මම දැක්කෙ.මොකද මේකෙ අධ්‍යක්ෂණයත් දුර්වලයි. සමහර තැන් වලදි රූප රාමු පිලිබඳ අධ්‍යක්ෂක සැලකිල්ලක් දක්වලම නැහැ. මට මතකයි එක තැනකදි ජෝ මහත්තය කඩමණ්ඩියෙ ඇවිදගෙන යන දර්ශණයක අනෙක් පැත්තෙන් බයිසිකලෙන් එන නිලියක් තව මිනිහෙකුගෙ සයිකලේ හැපෙන්න යනව. මේක නිර්මාණයට අදාල නොවන බාදාවක්. තව ගීතයක අතරතුර නළුවා සහ නිලිය දුවගෙන යනකොට නළුව බංකුවක් උඩින් පනින්න ගිහින් පැටලිල වැටෙන්න යනව.මේ වගේ දෙයක් වුනාම(පිටපතේ නැති) සාමාන්‍යෙයන් නැවත රූගත කිරීමක් කරනවා. ඒත් මෙහිදී ඒක එහෙම්ම දාල. තව එකක් තමයි සාමාන්යෙන් හෙලිකොප්ටරයක ඉඳන් පහත දර්ශණ රූගත කරද්දි හෙලිකොප්ටරේ හෙවනැල්ල නළු නිලියන්ට වැටෙන එක ලොකු බාදාවක්. ඒ වැරැද්දත් මේකෙ තියනව. තව එකක් තමයි සෙල්වම් පිට්ටනියෙ ක්‍රිකට් සෙල්ලම් කරනකොට හෙලිකොප්ටරයක් එනව දැකලා ඒක පස්සෙන් දුවන දර්ශණය, මේකෙදි සෙල්වම් එක්ක සෙල්ලම් කරපු වෙනත් ළමයි කවුරුත් අවටින් ඉන්න බවක් නැහැ. හරියට සෙල්වම් තනියම සෙල්ලම් කර කර හිටිය වගේ. ඔයවගේ තව පොඩි පොඩි ඒව ගොඩක් ඇති. ඒත් මම දැකපු ලොකුම වැරැද්ද තමයි පන්සලේ බිත්තියක බුදු හාමුදුරුවන්ගෙ සහ සීවලී හාමුදුරුවන්ගෙ පිංතූර වලටත් ඉහලින් ජනාධිපති තුමාගෙ පිංතූරයක් එල්ලීම.මෙය බුදු හාමුදුරුවන්ට කරන අපහාසයක් විදියටයි මම දැක්කෙ.
          සමස්තයක් වශයෙන් ගත්තම මේ චිත්‍රපටිය තුල අපි හැමෝම අහල දැකල තියන දේවල් ම තමයි නැවත නැවතත් කියන්නෙ. ජාතික රූපවාහිනිය සහ ITN නාලිකාව නරඹන ජනතාවට නම් මේ චිත්‍රපටියෙන් අමුතුවෙන් දැනගන්න කියල මහ ලොකු දෙයක් නෑ, පුලුවන් එකම දේ තමයි ඉංග්‍රීසි භාෂාවෙන් එකේ සිට සීය දක්වා ලිවීමට එක A අකුරක් වත් අවශ්‍යය නොවන බව.ඒකත් දැනගත්තයි කියල ඉතින් මොකද්ද ඇති පලේ ......
(මෙම ලිපිය සම්බන්දව ඔබේ අදහස් උදහස් Comment එකකින් දක්වන්න)

Saturday, December 10, 2011

මොකද්ද මේ ආදරේ කියන්නෙ?

          වෙලාවකට මට හිතෙනව මම වගේ අවාසනාවන්තයෙක් වෙන කොහෙවත් නැතුව ඇති කියල.හැබැයි තවත් වෙලාවකට හිතෙනව තනිකඩව ඉන්න එක මොනතරම් වාසනාවක් ද කියල. ප්‍රශ්න නැහැ ,හිතට බරක් නැහැ,හැම වෙලේම Phone එක කනේ ගහගෙන ඉන්න ඕන නැහැ,ඕන තැනක යන්න එන්න පුලුවන්,ඕන කෙනෙක් එක්ක කතා බහ කරන්න පුලුවන්. හ්ම්ම්ම්... මොනතරම් නිදහසක් ද....ඒ වුනාට මොකක්හරි හිතට දුකක් දැනුනාම, මොකක් හරි දෙයක් ගැන හරි තීරණයක් ගන්න බැරි වෙලාවට,පාලුව තනිය දැනෙන වෙලාවට...මටත් ආදරේ කරන කෙනෙක් හිටියනම් කියල හිතෙනව...එහෙම හිටියනම් මටත් එයාගෙ උකුලෙන් ඔළුව තියාගෙන මගේ දුක කියන්න තිබුන...එයා මගෙ ඔළුව ආදරෙන් අතගායි,මගෙ හිත හදන්න මොන මොනව හරි කියයි...එතකොට මොනතරම්නම් සහනයක් දැනෙයිද...තනිකඩ කොල්ලෙක් ඔන්න ඔහොම හිතනවාලු.
         ඔය අතරෙ තව කොල්ලෙක් මෙන්න මෙහෙම හිතනවලු....“කෙල්ලෙක් එක්ක යාලු වෙලා ටික කාලයක් ගියා විතරයි දැන් මගෙ යාලුවො ටිකෙන් ටික මගෙන් ඈත් වෙලා. මට උන් එක්ක සෙට් වෙලා කෙල්ලන්ට විහිලු කරන්න,එක එකාව චාටර් කරන්න,මල ගෙදරක දානෙ ගෙදරක නියිටක් ගහන්න යනන්වත් වෙලාවක් නැහැ.කොහේ ගියත් ගෙදරට නොකිව්වත් කෙල්ලට කියන්න ඕන.එහෙන් අම්මල තාත්තලා ගේම ඉල්ලනවා. ඒමදිවට දැන් දැන් එයා දකින හීන....බුදු අම්මෝ ඒව හැබෑ කරන්න ජොබ් 4ක් වත් කරන්න වෙනව. මේ දවස් වල මගේ අතේ සල්ලිත් නෑ බන් ,කෙල්ලගෙ උපන්දිනෙත් ලඟයි...“
            හැබෑටම මම මේ කල්පනා කලේ, මොකද්ද මේ ආදරේ කියන්නෙ...ඕක නැතුවම බැරි ද?...සමහරුනම් කියන්නෙ ආදරේ කියන්නෙ හරියට ඔක්සිජන් වගේ කියල...ඒක නැති වුනොත් හුස්මගෙනත් ඉවරයිලු...අනේ මන්ද ඉතින්.........හැබැයි මගෙනම් හුස්ම වැටෙනව තාම...එහෙමත් නැත්තම් ඉතින් මටත් හොරෙන් මම මැරිලා.